ආධාර


මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පතන පින්වත් ඔබටයි මේ ඇරයුම

බුදු කල්ප යා කොට
පෙදෙසම මෙතින් හෙළි කොට
මෙත්මුනි විහා රෙට
වන්න දායක සැපත ලැබුමට

මෙත් මුනිදු දැක්මෙන්
නිවන් ලැබුමට ඇල්මෙන්
තුසිත පහයක් මෙන්
සදමු මෙත්බෝ මැදුර පිදුමෙන්

ලොව එකම චේතිය
පද්මාමලක චේතිය
ගෙනෙයි හද පීතිය
බොදු බැතින් ඔපකරමු ජාතිය

සඟ මැදුර දන් හල
අඩුවකි අප වෙහෙර තුළ
එයද සම්පූර්ණ කල
වන්න දායක සැපත එය මුල

මහා පරි මානෙන්
ඇති හැකි අයගෙ දානෙන්
පුදන සුළු ගානෙන්
හදමු මෙත් බෝ මැදුර නාමෙන්

වරකාපොල, අඹේපුස්ස, මෙත්මුනිගම, මෙත්මුනි විහාරය බුද්ධ කල්ප දෙකක් යා කෙරමින් ඉදිවන දුර්ලබ ගණයේ පුණ්‍ය ක්‍ෂේත්‍රයකි. රමණීය කඳු මුදුනක, විවේක පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය මේ වන විට තුනුරුවන් හා නාථ මෙත් බෝසතුන්ගේ ආශිර්වාදය තුළින් සියලු ජනතාවට සෙත ශාන්තිය උදාකරලන පුණ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

මුළු ලොවට ම සදහම් සුවඳත් මෙත් සිසිලත් ලබා දෙන අරමුණින් ඉදි කළ මෙත්මුනි විහාරය තුළ දී මේ වන විට ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතු ශාක්‍යමුනි ප්‍රතිමාවත්, ලොව ප්‍රථම පද්මාමලක චෛත්‍යයත්, දොළොස් රියන් නාථ මෙත් බෝසත් මහ පිළිරුවත්, ජයසිරි මහ බෝ ශාඛාව සහිත අටවිසි බුද්ධ මන්දිරයත්, සර්වඥ ධාතු තැන්පත් කරන ලද මුනි සිරිපා මණ්ඩපයත්, අඟල් 21ක් උසැති රන් ආලේපිත මහානුභාව සම්පන්න මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවත් දැක වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත හැකිය.

තවදුරටත් මෙම ශාසනික කාර්ය පුළුල්ව විධිමත්ව සිදු කිරීම සඳහා මහා සංඝයා වහන්සේ නිරතුරුව ම මෙත්මුනි විහාරයේ වැඩවාසය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සැලසී නැත. අංග සම්පූර්ණ පූජණීය ස්ථානයක් සඳහා සංඝාවාසය, දාන ශාලාව, හා සර්වඥ ධාතු මන්දිරය දැනට ඉදි කළ යුතු විහාරාංග වේ.

විහාරස්ථානය සතු ඉඩකඩ ප්‍රමාණය අනුව වියදම් අවම කරගෙන මෙම කාර්ය එකවර කිරීමට තෙමහල් මන්දිරයක් ඉදිකළ යුතුය. ඒ අනුව බිම් මහල තුළ කාමර දෙකක් සහිත දාන ශාලාවත්, දෙවන මහල තුළ සංඝාවාසයත්, තෙවන මහල තුළ ධාතු මන්දිරයත් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

එක් මහලක් සඳහා අවම වශයෙන් ලක්‍ෂ විස්සක මුදලක් වැයවෙතැයි අපේක්‍ෂා කෙරේ. මල නොතලා මල්පැණි ගන්නා බඹරෙකු සේ ජනතාව නොතලා ජන සහභාගිත්වය ඇතිවම මෙම භාරධූර කාර්ය සිදු කළ යුතුය.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ අනාගත වංශ දේශනාවට අනුව මෙතේ බුදුන් දැක නිවන් දැකීම සඳහා සිදු කළ යුතු පින්කම් අතරට දානශාලා, සංඝාවාස, වැසිකිළි-කැසිකිළි කරවා සසුනට පූජාකිරීම ද අයත්ය. එබඳු පින්කම් රැසක් එකවර සිදු කෙරෙන මෙත්මුනි විහාරයේ සංඝාවාසය, දානශාලාව, ධාතු මන්දිරය ඉදි කිරීමේ කටයුත්තට ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ආධාර කර දායකත්වය ලබා ගත හැකිය.

එබැවින් පින් කැමති සැදැහැවත් ඔබත් මෙම මා හැඟි දුර්ලභ ගණයේ ශාසනික කාර්යයකට අනුග්‍රාහක පුණ්‍යවන්තයෙකු බවට පත්වන මෙන් මෙත් සිත් පෙරදැරිව ඉල්ලා සිටිමු.

ඔබේ සියලු ආධාර වරකාපොල මහජන බැංකුවේ අංක 054-1-001-0-4845577 දරන “මෙත්මුණි විහාර කාර්‍ය සාධක සමිතිය” ගිණුමට යොමු කරන්න.